Tuesday, August 2, 2011

මුතු පබලු



'පබලු ගිලිහුන නූල් පොටක්' ඇඟිලි අතරෙ හිරකරගෙන උන්නු පුංචි දෝණිගෙ ඇස්වල කඳුලු.

 "ඇයි දුවේ...."

"මුතු ඇට ටික සේරෝම බිම වැටුනා! මේ... මෙච්චරමයි ඉතිරි උනේ"

හිහ්... හිනාවක් පිටට පනින් හදද්දි මං ඒක නවත්තගත්තෙ දරුවගෙ හිත රිදෙයි කියල. මං සිනිඳුවට පැංචිගෙ කෙස් අතරෙ ඇඟිලි ගාටවන ගමන් පොඩියකට එතැන වාඩි උනා.

" ඔයාට පුලුවං ඒ බිම වැටිච්ච පබලු සේරම හොයාගන්ඩ. බාග වෙලාවට එකක් දෙකක් හම්බෙන්නෙම නැති වෙන්ඩත් පුලුවං තමා. ඒත් ඔයාට පුලුවං නෙ පොඩ්ඩක් හොයල බලන්ඩ"

මං කියද්දි  කෙල්ලගෙ කඳුලු පිරුණ ඇස් ගෙඩි දෙක මහ විශාල උනා. කටත් උල්කරන් ඉතිරි වෙච්ච 'පබලු' දෙක තුන දිහා හොඳට බලං ඉඳල ඔන්න ආයෙ කටහඳන්නෙ කියවන්ඩ. ඒ විතරක් යැ අලුත් කඳුලු පබලු දෙකකුත් එල්ලිලා ඇස් අගිස්සෙ ඔන්න වැටෙන්න - මෙන්න වැටෙන්න.

" ඒව පබලුද? ඒව 'මුතු' නෙවේද?"

"නෑ දරුවො... ඒ පබලු... මුතු වගේ තමා... ඒත් ඒ පබලු"

හ්ම්හ්... 

සිඟිති හුස්මක්....සීරුවට, තාලෙට, පරිස්සමට හුළඟට මුහුවෙද්දි ඈ මගෙ අතිං අල්ල ගත්තා

" අම්මෙ, මං සිඟිතිට කිවුව ඒව මුතු කියල"

මගෙ කනට කරල රහසින් වගේ කොඳුරල  කීව කෙල්ලගෙ මූන බලද්දි   ඒක බැරෑරුම් ප්‍රශ්නයක් බව අඟවන්න මට සිද්දඋනා. ඒ මූන ඒ තරම්  බරවෙලා.

"හ්ම්... එයා ගාවත් ඇත්තෙ පබලු මාලයක් තමා..."

"එහෙනම් එයා කීවේ ඒක මුතු ඇටවලින් හදල කියලා"

"එහෙම තමා සමහරු 'පබලු' වලටත් 'මුතු' කියනවා"

හෙමීට හිත හැදීගෙන එද්දි දරුව ආයෙ මොහොතකට කාර්ය්‍ය බහුල වෙලා. 

"අම්මෙ මේ... මං සේරම පබලු හොයාගත්ත මේ"

ඔයා හොඳයි නෙ, දැං පුලුවං සේරම ටික ආයෙ අමුණන්ඩ, තිබ්බ විදියටම"

"තිබ්බ විදියටම? ඒක ආයෙ ඒ විදියම වෙයිද? "

"ඔවු ඒ විදියටම පෙනෙයි"

"පේනව තමා ඒත් ඒකම නෙවේනෙ අම්මෙ.... ඒ කලිං මුතු මාලෙම නෙවේ..."

මොහොතක් මම දෝණි දිහාව බලං උන්නා.  පුංචි පබලුවක් අස්සෙ මට ඈ එක්ක කතාකරන්න  නොතේරෙන  වචන හුඟක කතාවක අඩිතාලම දකිද්දි ඈ බිම වාඩිවෙලා පබලු අමුණන්නගත්තා.

" ඒක පබලු මාලයක් උනාට කමක් නෑ. මං ඒක හදාගන්නවා. ඉස්සර වගේම නොවුනට ඒක ඒ වගේම තියෙයි"

මම පුංචි හාද්දක් ඒ නලලෙ පලන්දල  ආපහු හැරෙද්දි ඈ මගේ ගවුමෙ රැල්ලක එල්ලුනා.

"අම්මේ....ඒක මුතු නොඋනට කමක් නෑ. මං ඒක ඉස්සරට වඩා හොඳට පරිස්සං කරගන්නව"

පුංචි ආඩම්බර කාරියෙක්ගෙ ලස්සන හිනාවක් ඒ මූනෙ ඇඳෙද්දි මං ලොකු හුස්මකින් හිත පුරෝගත්තා.

1 comment:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියන්න දෙයක් හිතුනේ කතාවෙන් හරිම අමුතු හැඟීමක් ඇතිකළා..

    ReplyDelete