Tuesday, September 27, 2011

ඒ දවස සමඟ හෙටක් ළඟ




හස වෙනදාට වඩා නිල් පාට උනේවත්, හුළඟේ අමුතු සිහිලක්වත් මම එදා නොවින්දෙමි. අඩුම තරමේ මම ඔබට උපමාකල ඉරෙහි හෝ අසාමාන්‍ය චර්ය්‍යාවක් එදා නොවුනේ ඇයිදැයි මම අසමි. මගේ හදවත විමසමි. නේක ආදර කතන්දරවල උනා වාගේ සොබාදහම එදා වෙනස් නූයේ ඒ අපට ආශිර්වාදයක් වන්නට මැලි වූ නිසායයි මම නොසිතමි. 

ඇත්තටම ඔබත් මමත් අරඹයා ලෝකය වෙනස් නොවූ බව සත්තකි. ඒ නමුදු ඔබටත් මටත් ඒ දවස කොයිතරම්දැයි අපේ හදවත් වින්ද අපූර්වත්වය නම් අරුමයකි. වෙනදා දුටු අහසේ නිලෙහි ලස්සනක්, හුළඟේ රිද්මයක්, චන්ඩ ඉරෙහි අමුතු රශ්මියක් ඔබටත් දැනුනාදැයි නෑසුවේ මන්දැයි මම නොදනිමි.

හිසත්, නලලත්, දෙඇසත් උණුහුමට සිපගනිද්දී ඒ උණුහුමින් මිදෙන්නට හෝ ඔය දෙපා සිඹිද්දී නැඟිට ගන්නට ශක්තියක් නූයේ සමුගැනීම ආසාමාන්‍ය ලෙස හිතේ කුරුටු අඳින්නට අර අදින්නට ටික කලෙක සිට පටන්ගෙන තුබූ නිසාය.

කියන්නට ඇතිදේ අපමනය. කීවත්, නොකීවත් ඒවා වචන වී හෝ නොවී ඔය හිතේ සටහන් අඳින බව දන්නෙමි. 'ඒ දවස' අපේ හිතේ උපයාගත් පරිමාණය කොතරම්දැයි දන්නේ ඔබත් මමත් පමණි. එය එපමනක්ම වීමම අපට ප්‍රමාණවත්ය.

හෙට දවස කුමන පැහැයකින් පාට වේදැයි දන්නෙකු නැත. නමුත් මම මඟබලමි... ඔබත් මමත් අත්තිවාරම් දැමූ හීනය මත හෙට දවස ගොඩනඟන්නට මම හදවත පුරා කටු සටහන් අඳිමි. ඒවා දකින එකම පුද්ගලයා ඔබ වෙද්දී ගුරුතුමාගෙන් පැසසුමක් ළද සිඟිත්තියක සේ මා සතුටු වෙමි. 

මේ හදවත ගැහෙන්නේ කුමන ස්වරයටදැයි ඔබ හඳුනන බව දනිමි.

කියන්නට ඇතිදේ අපමනය. නමුත් මම නිහඞ වෙමි. නිහැඞියාව පුරා වචන වලට ඇහුම් කන්දෙන ඔබ  තුල දොඩමලුවෙමි.

25/09/2011

1 comment:

  1. වචන දාහකින් කියන්න බැරි දේවල් නිහැඩියාවෙන් කියවෙනවා...

    ReplyDelete