Friday, September 16, 2011

අහස් නිල



සුදු වලාකුලු වෙනදාට වඩා සුදට පෙනෙන්නේ අහස නිල් පැහැයෙන් දිස්නය දෙමින් තිබුන නිසාය.ඒ අහසම රත්තරන් පාටම දැයි නිෂ්චිතවම කිව නොහැකි ඉරෙහි දීප්තියෙන් උවමනාවටත් වඩා දිදුලමින් උන්නාය.

මිනිසුන් කොතෙකුත් මේ අහස් නිලට ඇලුම් කරන්නේ මන්දැයි සිතාගත නුහුනු හිත ඒ කෙරේ හදිසියේම පුදුම ඌවාය. ඇස් පියවෙන තරම් දැඩි ඒ දීප්තිය මට කවදත් අලස් හැඟුමන් ගෙනදෙන දසුනක් විය.

හ්ම්හ්.......

හදවතේ ඟැඹුරක හිරවී තිබුන බර හුස්මක් නිරායාසයෙන් ඇද එලියට දමන්නට ඒ සුසුම සමත් වෙද්දී මම කුටියට වැදුනේ හේබාගිය හිත නිදැල්ලේ  මුදාහරින්ටය.සයනයේ කොණක තුබූ පැති මේසය මත වූ මේස ලාම්පුවට තනි රකිමින් උන් පිංතූර ඇල්බමයේ කවරයත් මසිත මෙන්ම දියවී යමින් තිබුනි. පාසල් සමයත්, ඉන් අනතුරුව ගෙවුනු ඒ දෙවසරත් මේ ඇල්බමය තුල සාරාංශගත වී, විටින් විට මුල සිට අගටත් වරෙක අග සිට මුලට පාවා මසිත මෙන්ම පෙරලා බලා,දියවී යමින් තිබුනි.

යලිදු වතාවක් හදවතේ කොණක හිඳ නිතරෝම විරාම අතරතුර මතකයට විත්, දුක - පසු - තැවීම අතරට බියද මුහු වී තැනුන මා හොදින් අඳුනන මුත් මට වටහාගත නොහුන ඒ හැඟීම විසින් මඞින ලද මා ඒ පිටු පෙරලන්නට වීමි.

කඳුලක් බවට පරිණාමය වූ ඒ හැඟීම හදවතේ සිට දුර ගෙවා නෙත් තුල එකතු වෙද්දී මා ඔහුගේ පුරුදු සේයාරුව අසල නතර උනෙමි. 

ඔහුත් මමත් අතර සිදුවූ දෙයක් නැත. 

දඟකාර හිත් අභියස හදවත විහිලුවකට පෙම් බඳිමින් සිටිය වග කිසිවකුත් නොදැන උන්නාත් නොවන කල, අප එක්තරා සංදිස්ථානයක නතරවී උන් අයුරු හිතෙද්දී විහිලුව තවදුරටත් විහිලුවක් නොවන වඟ සමහවිට දැන ඉන්නට ඇත්තේ මමත් මසිත හැඳිනූ යෙහෙලියත් පමණක්මය.

ආපසු හැරීමක් හෝ ඉදිරියට යායුතු මඟක් නොමැතිව අතරමඟ ජීවිතය නතර වෙද්දී ඔහු ජීවිතේ දුටු හීනයක් සොයා ඉගිලගොස් තිබුනි. 

"අපි හොඳ යාලුවො විතරයි. එතනින් එහාට දෙයක් නෑ"

ඒ වදන්.... 

හදවතේ රිදෙනම ඉසවුවක  හිද දුක් කැටයම් නෙලද්දී මම අසරණ උනයුරු.....

හ්ම්.....

මේ දෛවයමදැයි පිළිගන්නට අකමැත්තෙන් ජීවිතය අතීතයෙන් සාක්ෂි එකතුකලයුරු....

අවසන, 

හිත හදන්නට සිතාගෙන, හිත හැදේවී යැයි සිතන්නට උත්සාහ කරන අතරේ මම කඳුලු හැංඟීමම හිත හදාගැනීමයි කියා පෙන්නන්නටත්, මගේ වන උන්ගේ හදවත් මෙන්ම ජීවිත පවා එමගින් පුරුදු රටාවට එලැඹෙනයුරු දකිමින් සැනසීමක් වන් යමක් විඳිමින් මම.,

"ඕක අමතක කරල දාන්ඩ, කාලෙට ඉඩ දීල බලන්ඩකො, ඒක සේරම විසඳයි" 

කියා දැණමුතුකම් දුන් අයවලුන්ගේ බසට ඉඩදී කාලයත් සමඟ වෛර බඳීමින්, කාලය ට දිය වෙමින්, රිදෙමින්, තැවෙමින්, හැඟීම් සඟවමින්, සමහරවිට.... ඔය සියල්ලටම අඩුම තරමේ ඒ සඳහා උත්සහා කරමින් හෝ එසේයයි පෙන්වමින් මම ගෙවාදැමූ කාලය! 

එම කාලය සමඟ ගෙවී ගිය ජීවිතය!

අවසන යලිත් වරක්....

මල් කැකුලු අතරේ කටුවල වේදනාවත් ඇති බව දැන දැනම ඔහුත් මමත් යලි මුනගැසුනයුරු.... 

ඒ මුනගැසීම පිලිබඳ ගැස්මකින් මුත් පිපාසාවකින් පෙලුන හිත උද්දාම උනයුරු.....

"මං හිතුව තරහ වෙලා කියල. තරහ වෙන්ඩ දෙයක් උනේ නෑනෙ නේද?"

ඔහුගේ වදන්....

හංඟා තුබූ ගිණි පුළිඟු වලට හුස්ම පිඹිද්දී මම ඒ රස්නයට පිච්චෙතැයි අදහන්නට ලෝබ උනෙමි.

මඟහැරුන වසන්තය යලිත් උදාවෙනු ඇතැයි හීන  දකිමින්ම මම

සමහර විට,

සමහර විට.... ඒ උදාවන වසන්තය සෙවු මල් සුවඳම නොගෙනෙන වග සිතන්නට මැලි වෙමින් හිඳින වඟ අමතක කරදමන්නටසිතා ගත්තෙමි.

අවසන අමතක කිරීම කෙතරම් රිදුම් සහගතදැයි විදවන අතරතුරම හෙට වසන්තය උදාවෙතැයි මම මාලිගාවක පාදම දමන්නට වූ අයුරු.

හ්ම්හ්....!!

කඳුලින් පෙඟුන කොපුලට වැටුන හුළං රැල්ල ඇතිකල සීතලට වෙවුලූ ගතින් නෙත් හැර බලද්දී ඒ සේයාරුව කඳුලින් පෙඟී ඇති අයුරු මගේ ඇස ගැටුනි.

2 comments:

  1. තමන්ගෙ සතුට අනුන් ළඟ සොයන තාක්කල් දුක වේදනාව අත නොහැරැ යන ඥාතීන් ලෙස ළඟම දැවටී හිඳියි හැමදාම.

    ReplyDelete