Monday, September 26, 2011

(අඞන) ගල් හිතක්



මෙත්මිණ අදත් ඇඳල ඉන්නෙ ඒ ලානිල් පාට කමිසයමයි. දැන් කොයිතරම් කාලයක්ද ඒ කමිසෙට. ඒ කමිසෙ වයසයි සමදරාගෙයි, මෙත්මිණගෙයි ආදරේටත් වැඩිය. මොකද සමදරාට හොඳහැටිම මතකෙ තිබ්බ ඒ කාලෙ මෙත්මිණ ඔය කමිසෙ ඇඳන් අර විසාල ගේට්ටු කණු අස්සෙන් මතු උන හැටි.

හ්ම්හ්....

හිතේ තියන කන්දක් උස දුක් ගින්නෙන් එකමෙක අලු පොඩිත්තක් නාස් පුඩු අස්සෙන් එලියට පැන්නෙ ඒ ලස්සනම ලස්සන අතීතෙන් එකපාරටම සමදරාව වර්ථමානෙට ඇදල දානගමන්. 

සමදරා ආයෙමත් කීවෙනි වතාවටද මන්ද මෙත්මිණගෙ දිහාව බලාගෙන හිතන්න පටං ගත්තා.

"ඒ කමිසෙ පාට හේදිලා. දැං කොයි කාලයක්ද. ඒක දැං සුදට හුරු වෙනකල්ම දියවෙලා. මං වගේම තාම එයා ඒකට ආදරෙයි"

"තව ටික දවසකින්..... "

ඈ හිතන්න ගත්තා මේ මොනවද මං හිතන්නෙ කියල. 

ඒත්.....

 "තව ටික දවසකින් මේ කමිසෙ විතරයි.... එයා නෑ!"

ඒක බොහොම දරුණු හිතුවිල්ලක් උනත් සමදරා යථාර්ථය දකිමිණුයි උන්නෙ. 

 ගෑණියෙක් ගැන කොයි කවුරුත් මවාගත්ත විශ්වාෂය ඇතුලෙ ඉඳන්, ඒත් හැබෑම ගෑණියෙක් විදියට.

ඈ යථාර්ථය දකිමින් උන්නා!

**********

වුරුදු දෙකක ආදරේ රත්තරන් පාට නූලෙන් බැඳුනෙ දෙපාර්ශවයෙම ආශිර්වාදෙ මැද්දෑවෙ උනත්, දැං දැං සමදරා හිතන්න අරං අර ඉස්සරෝම තිබ්බ පුංචි පුංචි නෝක්කාඩු, හිත් නොහොඳකම් කවදාවත් නැතිවෙන්න නැතුවැති කියල.

මෙත්මිණගෙ පෙනහල්ලෙ පිලිකාවක් කියල දැනගත්තු හැටියෙ සමදරාගෙ දෙමාපියො ඈව තවත් ටිකක් ඈතට කරල තියන්න හිතුවෙ හරියට.,

"හහ්! උඹ මුලදිම අපි කිවුව දේ ඇහුවනම් ඔහොම වෙනවද?" කියන්න වගේ.

දොස්තරවරු කියන වචනයක්, වචනයක් ගානෙ අම්ම, තාත්ත ඈතට යද්දි මෙත්මිණ අසරණ වෙච්චි සමදරාගෙ හිතේ සඳුන් සුවඳ උලන්න නොගියෙ ඈ හයිය හිතක් එක්ක ඉපදිල තියෙනව කියනඑක ඔහු හොඳහැටිම දැනං උන්න හංද වෙන්නැති.

කරදර එන්නේ එක සැරේට! සේරම එක පොදියට!

"මොන විකාරයකටද මහරගම ගියෙ? ඕයිට හොඳ ප්‍රයිවෙට්ටෙකක නැවැත්තුවනම්  මෙලහට හොඳ අතට හැරිලා"

මෙත්මිණගෙ මල්ලි දුල්වන්ගෙ හිතාගන්නවත් බැරි බාදා කිරීම් එන්න එන්නම වැඩි වෙද්දි ඇත්තටම සමදරා පුදුම උනා.

"මේ උඹෙ අයියා! උඹට අයිය ගැන කොයි බැඳීමක් තිබ්බත්, නැතත් මට මං ආදරේ කරන මනුසස්සය වටිනව. උඹට අයිය උනට මට මේ 'මගේ මිනිහ'!. ගෑණීයෙක්ට තමුන්ගෙ මිනිහ කොයිතරම්ද කියන එක තේරුම් ගන්න තරම් උඹෙ හිත වයසත් එක්ක මෝරල නෑ!"

සමදර කෑ ගැහුවෙ හිතෙන්! 

අසරණම අඩියක ඉඳගෙන එලිය බිංදුවක් එක්ක පොරකන මෙත්මිණගෙ හිත තව තලන්න ඈට උවමනාවක් තිබ්බෙ නෑ.

දරන්න අමාරු ප්‍රථිකාර වල ප්‍රථිඵල එක්ක මෙත්මිණ මුරන්ඩු උනා.

"මට බෑ සමදරා! මට බෑ! ඒක මහ පවුකාර විඳවීමක්. තව බෑ මං මළත් !

හැමෝම එක්ක එක පැත්තක් ගනිද්දි, ආදරේම අසරණකමකට ගනිද්දි. ගෑණියෙක් දෙනෝදාහක් මැද්දෑවෙ තනිවෙන හැටි සමදර හොඳින්ම විඳෙවුවා.

මෙත්මිණගෙ කලු ගැහිච්ච මූන ඇගේ උකුලෙ තියාගෙන කොණ්ඩෙ නැති හංදම ඒක වහන්න තට්ටෙම ගාපු ඔලුව හෙමීට පිරිමැද්දා

"ඔයා එක්ක මං මැවුව හීන කොයිතරම්ද? මතකද? හැමදාකම කුලී ගෙවල්වල ඉන්න බෑ කියල අපි දෙන්න අරගත්තු ඉඩම? අපිට ඒකෙ ගෙයක් හදන්න තියෙනව. අපේ පුතා!එයා තාම ඉස්කෝලෙකට දාන්න වයස මදි. තව අවුරුදු තුනකින් අපි දෙන්නට යන්න තියෙව ලොකු ගමනක්. පැටියගෙ අත් දෙකෙන් අල්ලං ඌව ඉස්සරෝම ඉස්කෝලෙ එක්කයන්න අපි දෙන්නම ඉන්න ඕනේ"

ඈ හීන එක එක දිගඅරිද්දී මෙත්මිනගේ කඳුලින් තෙමුන සමදරාගේ උකුලත් සමදරාගේ  කඳුලින් තෙමුන මෙත්මිනගේ හිසත් තව තවත් පෙඟෙමින් තිබුනා.

අන්තිමේ එක්තරා කාලකන්නි හැන්දෑවක ඔහු අංශ භාග රෝගියෙකු බවට පත් වෙද්දි සනීප කරන්න බැරි ඒ පිලිකාවෙ සගයෙක් ඔහුගෙ මොළය ආක්‍රමණය කරල තිබුනා!.

**********

මදරා ! 

ගැහැණියක් විදියට හෙලපු හැම කඳුලක් සහ සුසුමක් ගානෙ හිතට ගල් පුරවන්න පටන් ගත්තා. ඒ ගල්වල තියුනු දාර වලට හදවතේ ගණකම්, තුනි බිත්ති සිදුරුවෙලා ඒව අස්සට අර ගල් රිංගන්න උනා. 

අන්තීමේ පෑරි පැරි රිදෙන නහර ලේ අතරින් තවමත් ගැහෙන 'ගල් හිතක්' ඈ දරගෙන උන්නා.

" This is your Husband! You decide what you want to do. don't let others to play with his or your life!"

වෛදය්‍යවරයගේ ඊ සර වචන ඒ ගල් හිත පසාරු කරං ගිහින්. 

කාටද පේන්නෙ 'ගල් හිතක් පවා ගැහෙනව කියල!'

ඈ මහා හුස්මක් ඇදල අරගෙන නහර පුරවගෙන වෙවුලන ජීවිතේ ඔසව ගත්තා.

ජීවිතේ කවදාවත් නැතිතරම් බරට දැනෙද්දි ඇස්දෙක පියාගෙන ඈ මවාගත්තා මෙත්මිණගෙ අතින් තමන්ගෙ අතට තිළිණ උන ඒ පුංචි පැංචව. 

හතිවැටුන උනත් වෙහෙස අමතක කරන්න උත්සහ කරන ගල් හිත ඈට හෙට දවසට තල්ලුවක් වෙලා ආව ඔහුගෙ ආදරේ උරාගන්න අවස්ථාව දෙනගමන් ගැහෙන්න පටන් ගත්තා. 

'ඔවු ගල් හිත් ගැහෙනවා!'

"එයා එක්ක මැවුව හැම හීනයක්ම මම හැබෑ කරනව. දවසක එයා ට දකින්න. ඉන්න තැනක ඉඳන් සතුටු වෙන්න. අපේ ආදරේන් උපන්න මේ අපේ පැටියගෙ හෙට දවස මං ඒ හීන වලින් පාට කරනව".

ඈ අන්තිමේ ඊයේ රාත්‍රියෙ මෙත්මිණගෙ උකුලෙ ඔලුව ඔබාගෙන එලිවනතුරුම ඇඩුව! ඒ උකුල, පපුව, උරහිස  සුන්දර මතක කඳුලු වෙලා සීතලට පොඟවද්දි ඈ ආදරේ හදවතට පුරව ගනිමින් උන්නා! 

හිතේ ඔබාගත්ත හැම කලුගලක්ම ආදරේ අවශෝෂණය කරගනිමින්සිටිද්දී ඔහුගේ පපුතුරෙන් කාන්දුවෙන සුවඳට ඉවඅල්ලමින් ඈ ඇඩුවා!

'ඔවු ගල් හිත් ඇතුලෙත් කඳුලු උපදිනවා!'

ඒ හැම කඳුලක් ගානෙම ඔහු වාරු තිබුන අතින් ඇගෙ හිස ආදරෙන් පිරිමැද්දා .

අන්තිමේ....

අයෙමත් දවසක් පටන්ගන්න යන වෙලාවෙ ඈ හිස ඔවල බැලුව ඔහු දිහාව. 

ඉදිමිලා රතුවෙච්ච ඇස් අගිස්සෙ තවම නොවියලනු කඳුලක් තියෙද්දිම සීතල තොල් වලින් ඒ පපුව සිපගත්තා. ඒ මොහොතෙම ඔහු හිස පාත්කරල ඇගේ හිස සිම්බා!

මොහොතකින් ඒ ඇස් හමුවෙද්දි හීන් හිනාවක් මූනු දෙකම හැඩකරන්න පටං ගත්තා! 

තාම නිදා ඉන්න පුංචි පැංච දිහා බලන ගමන් මෙත්මිණ සමදරාගෙ අත මිරිකා ගත්තා!

ඈ ඟැඹුරු හුස්මක් ඇදල අරගෙන හදවතේ ගල් අස්සෙ ඉතුරු අවකාශ පුරව ගත්තා.

~ ~**********~ ~

2 comments:

  1. කියන්න වරදක් හෙව්වේ... ඒත් අංශු මාත්‍රයක්වත් හොයා ගන්න බැරි උනා.

    ReplyDelete
  2. කවද හිටියත් සමුගැනීමක් ලියවෙලා තියෙනව. ඒක කළින්ම ආවම තමයි අමාරුකම්. හිත් ගල් කරන්න අමාරුයි. ඒත් ගල් හිත් උපතින්ම ගෙන ආපු ස්වල්ප දෙනෙක් ඉන්නව.

    ReplyDelete