Thursday, July 28, 2011

හෙටක් ළඟ



"ඇයි උඹ ඔයි තරම් මුරණ්ඩු"

අම්මගේ වචන වලට පෑරිච්ච හිත හදාගන්න මම බැලුව ඒ ඇස්දෙක දිහා. 

හ්ම්....

දිරච්ච හිත වාරුකරගන්න අත්වාරුවක් වෙලා ලඟ උන්නු ඒ ඇස්වල ඉතිරෙන ආදරේ යටින් මට තව මොනාහරි පේනවා. ඒවටත් හරියන්න කම්මුල්වලට ඊයෙ පෙරෙදා එකතු උන අලුත් ඉරි ! 

ඔවු.... ඔය ආදරේ අස්සෙන් පේන්නෙ අසරණකම. 

"මම මුරණ්ඩුද අම්මේ.."

මගෙ හිත ඇහුව කෑ ගහල. දොංකාර දෙන වේදනාව වත්, මගේ හිතේ ඝෝශාව වත් කාටවත් ඇහුනෙ නැතිබව ඇත්ත. ඒත් හැමෝම දැක්කා කඳුලු!

"ඔහොම මුරණ්ඩු වෙන්නෙපා දරුවො. හිතපන්! හෙට දවස ගැන"

මං හිතනවා තාමත්.... අම්මා කියන හෙට දවස කවද්ද එලිවෙන්නෙ කියල. 

ආදරෙන් එකතුකරපු හීන එක්ක මට හෙට දවසක් අරං එන කුමාරයො මම පෑහුව. හ්ම් ඔවු ඒව කොහෙත්ම පෑහෙන්නෑ. මම හිත හදාගෙන හැරිල බලද්දි අම්මගෙ මේ මූන ආයෙ ආයෙත් මාව කොනිති ගහල රිද්දන්න උනාම... හ්ම් සැහැල්ලුවට පාඋන හිත බරවෙලා කඩන්වැටෙන්න උනා. 

ඔන්න වහිනවා!

හුරේ දාල වැස්සට පැනල වතුරෙ දඟලන පුංචි එවුන් වගේ එයාල හැමෝම සතුටු වෙද්දි මමත් සතුටු උනා, ඔවු අතඇරල දාපු හීන අස්සෙන් පේන අම්මගෙ බලාපොරොත්තු වලින් හිත පිම්බෙද්දි මම ඒ කීව හෙට දවසට හුරුවෙන්න හිත හදාගත්තා.

"මම කැමතී" 

හිනා, කඳුලු,සුභපැතුම්,ඒව - මේවා ඔක්කෝම අස්සෙ මගෙ වචනෙට මාර  ප්‍රතිචාරයක් ලැබෙද්දි මම ටිකක් උඩඟු උනත් එක්ක.ඒක හරිම අහිංසක පුංචි උඞඟු කමක්. කොයි කෙල්ලත් විඳින.

"මොකක්! එයා කැමති නෑ?"

අලුතින් අටෝගත්ත හිත හෙමීට දෙදරනව මට දැනුන. මම අම්මගෙ මූන බලද්දි මන් දැක්කා. ඒ හිතත් ඉරිතලලා.

හ්ම්.... මට දැනුන හරි වේදනාවක්... ඒක... කොහොමද කියල දෙන්නෙ.. ඒක මහ අමුතු හැඟීමක්.... උගුර අස්ස හිරඋන පාර වැරදිච්ච කඳුලු ගුලියක් මට වද දෙද්දි ඊළඟ දැක්මට මම සූදානම් උනේ හිස් හිතක් එක්ක.

"මම කැමති"

"මම කැමති"

"මම කැමති!!"

ඔහොම යද්දි ඒ මූනුවත් හරියකට බැලුවද කියල නිච්චි නැති උනත් මම උත්තර දුන්නෙ පැතුම් වලින් පිරිල තිබ්බ හිත හුලං වලින් පුරෝනගමන්.

අන්තිමේ මම කියන්නත් කලින් එයා කියල තිබ්බා 'මම කැමතී' කියලා

මට දැනුන මේ තමා අම්මා කීව හෙට දවස! 

හරියකට මූන බලානොගත්ත එකට මටම බැණ, බැණ ආයේ ඒ මූන හරියකට බලන්න ඕනි වෙද්දි මම ඒ හෙට දවසට හුරුවෙන්න සූදානම් උනේ ඒ හිස් කමට අසරණකමක් එකතු කරගෙන.

"ජීවත් උන අවුරුදු ගාන කොහොම වෙතත් මං මගේ සේරම දාල යන්න දැං සූදනම් වෙන්න ඕනි.!!"

මගේ අය ඒ නාදුනන හෙට දවසට සූදානම් වෙද්දි මම මොහොතකට මෙතුවක් මගේ උන හැමදේම මැද්දට පැනල ලොකු හුස්මක් ගත්තෙ ආදරෙන්.

ඩිං ඩොං...

අම්මා දොර ඇරියා.. හප්පේ සැලකිලි.... හැමෝම මොහොතක් එයා එක්ක ආ ගිය තොරතුරු කියෝලා මාරු උනා. යන ගමන් මං දිහාට හරි කොමල බැලුම් දාගෙන ගියේ. එයාලට වැඩ. තේ හදන්න, ඒවා - මේවා දන්නැද්ද ඉතිං. 

මං එයා එක්ක මොහොතකට තනි උනා, සාලෙ.  ඉස්සරෝම මූන බලගත්තෙ දැං. හ්ම් නරකම නෑ... මට එයාගෙ එක එක අපූරු, මං කැමති දේවල් පේන්න ගත්තා. 

මගේ අර කීව හෙට දවස ගැන කටු සටහන් ටිකක් හදාගෙන යද්දි එයා කතාකරන්න මුල පිරුවා.

"ඉතිං...."

මම ගැස්සිල එයා දිහාව බලන ගමන් මට හිතුනා

"මම එයාට කැමතී"

හිතේ ඇදිච්ච කටුසටහන් එක්ක ඒ හැඟීම මගෙ මූනට හීන් හීනාවක් අරං ඇවිත්.

මං දැක්ක එයත් හිනාවෙනවා.

අපි දෙන්නම කතාවෙලා කලාවගේ එකපාරටම හුස්ම පිටකලා

හැබැයි ඔන්න කලින් කතාවෙලා තිබ්බෙත් නෑ!

අපි ආයෙම සැරයක් හිනා උනා

"ඔයා හිනාවෙද්දි ලස්සනයි"

මං දිහාව ඒ හිනාවෙන්ම බලා ඉඳල එයා කියද්දි පුදුමත් එක්ක.

මං හිත හිත උන්නෙත් " එයා හිනාවෙද්දි ලස්සනයි" කියල!

 මොකද්දෝ කෝලකමක් හිත කිචිකවද්දි මං බිම බලාගත්තා

"මම මටත් එහෙමම දැනුන කියල පස්සෙ දවසක එයාට කියනවා"

මගෙ හිත මිමිණුව!

2 comments:

  1. බොහෝම සුන්දර විදිහට ගලපලා තියනවා.මැවිලා පෙනුනා කියවගෙන යද්දී.ජය.. දිගටම ලියන්න

    ReplyDelete
  2. අශූභවාදී සිතුවිල්ල අන්තිමට සුභවාදී පිබදීමක් වෙනව. අන්තිමට ලැබෙන්නෙ වඩාත් හොඳම දේ වෙන්නත් පුඵවන් නිසා වෙන්න ඇති.

    ReplyDelete