Tuesday, July 19, 2011

වළාකුලු



"සඳඟෝමී....චූටි පුතා.... නැගිටින්න ඉතිං"

ඒ භද්‍රාගේ හඩය.කුස්සියේ පොඩි හතරැස් මේසයේ තබාතිබූ කිරි තේ ඔහුගේ කෝප්පය අතට ගත් පියසේනගේ මුවඟට හීන් හිනාවක් ආවේ නිතැතිනි.ඔවුන්ට 'සඳඟෝමි'නමැති දරුවෙකු නැත.ඉන්නා මේ එකම පැටියාට 'ප්‍රභාෂ්වර' යි නම් තැබුනේ දෙන්නාගේම කැමැත්තටය.

ඔය භද්‍රාගේ විලාසයකි.ඕ පැංචාට එක එක නමින් අමතයි.යන්තම් එකවසරට රිංගාගත් නොකිලිටි හිතැති පොඩ්ඩා ඔය කොයිනමටත් ලෙංගතු ප්‍රතිචාර නොදක්වා ඉන්නේ නැත.

භද්‍රාටත්,පියසේනටත් ඉන්නා මේ එකම දරුවා ඔවුන්ට මැණිකකටත් වඩා අගනේය.දරුවන්ටනම් කොතෙක් හෝ නොනිම් ආසාවෙන් පෙලුනද ඔවුන් තනි පැටියෙකුගෙන් සැනසුනේ මේ නහයත් යටකරන් ගලනා අගහිඟ කම්වලින් සියල්ලෝ තෙතබරියන් වීමෙන් වලකින්නට වීමට පුලවන.

සීනි අඩු තේක උණු උණුවේ උගුරෙන් පහලට යද්දී පියසේන එකම කාමරයවෙත පා නැඟුවේය.කකුල් පාරවල් වලින් අවපැහැ ගැන්නූ පාට මැකුන සීතල බිත්තියට තද වී පුතා සුව නින්දේ හිඳියදී,ඇදමත වාඩිවි නිසොල්මනේ දරුවාදෙස බලා උන් භද්‍රා තිගැස්සුනේ සැමියාගේ අඩිහඞටය.

ඔවු, ඈ මිනිත්තු කීපයක් මේ සැනසිල්ලේ නිදන පොඩ්ඩාදෙස බලා ඉන්නට ඇත. ඒ කෙටිකාලය තුල සිතුවිලි දහසක් ඉපිද මියයන්නට ඇතිවගට සාක්ෂි ඕ පියසේන දෙසබලා හෙලූ සුසුමේන් පිළිඹිඹූ උනාය.

"කොල්ලා නිදා ඉන්නහැටි දැක්කාම ඇහැරවන්නත් ලෝබයි" ඈ කෙඳිරුවාය.

"ඔන්නොහේ නිදාගද්දෙන්, සෙනසුරාදනෙ" පියසේන මනදස්මිතවම කීවේය.

"හ්ම්... අනේ මංදා ඉස්කොලෙට ඕනකීව අර ලිස්ට් එකෙන් තව හෙන ගොඩක් ජාති ගන්නත් තියෙනවා"
 භද්‍රා යලිත් කොඳුරද්දී පියසේන තේකෝප්පයේ මන්ඩි දෙස බලා සුසුමක් හෙලා කටහඞ අවදිකලේය.

"ඊයෙ අර වැඩමල්ලෙන් වැඩකරන්න දිලා, පුතාට ක්ලේ පෙට්ටියක් නැති හංදා,  හිත නොහොඳින් ආවේ. ටිචර් කිවුවා මෙදා අවුරුදු උත්සවේට පංති දෙකේම ළමයිගෙ නැටුමක් තියෙනවලු.ඒකෙ ඇදුම්වලට මගෙහිතේ,  ලබන සුමානෙ රුපියල් හයසිය පනහක් ගේන්නත් කිවුවා"

"හ්ම් දැන් මොකද කරන්නෙ?"

"මං හිතුවෙ දැං අවුරුදු කාලෙනෙ, මිනිස්සු අවුරුද්දට ලෑස්ති වේනව. ඔයා ඉස්කෝලෙ නෝනලෑ දිහෑ වැඩට යද්දි මේ දවස් දෙකේ පුතාත් එක්ක ගියානම් මට පුලුවං පොඩි කුලී වැඩක් කරල ඕක හොයාගන්න."

"එපා, එපා! මතකනෙ ගිය මාසෙ දරුවට බේත්ගන්න කියලා කුලී කරලා අන්තිමේ, ඔයාටයි බේත්ගන්න උනේ. ඔයකොන්දත් එක්ක කොහොමද.... මංකියනවටවත් ඉන්නකො ඕවට නොයා. ඔයා දැන් දුක්වින්ද මදෑ. මං ඉස්කෝලෙ නෝනගෙන්  පඩියෙන් ටිකක් කලින් ඉල්ලගන්නම්"

පියසේනගේ පාදය දනහිස අසලින් බිඳී ගියේ ඔහු මේසන් බාස් කෙනෙකුව උන්සමයේ මුහුන දුන් හදිසි අනතුරකිනි. එතැන් පටන් ඔහුට සිය ජීවන වෘතිය කිරීමට හෝ කිසිඳු බරවැඩක් කරගැන්මට වත් අපහසු විය. මදක් වහෙසී වැඩකල සැනින් ආභාදිත පය සතිගනකට යලිත් ආතුර වෙයි.එය සියල්ලටම වඩා අපහසු කාලයක් මේ තිදෙනාට ළඟාකරවයි.

ජීවිතයේබර උහුලන්නට මෙහෙකාරකමට දියවෙන භද්‍රා සිය කුටුම්බය පෝශණය කරන්නට වෙහෙසෙමින් ඉඳියදි, මින් කලකට පෙර ඔවුන්ට අඟහිඟ කම් මද වූ කාලයේ වෑයමින් ඉදිකරගත් නිවෙසත් සීමිත, නොවටිනා ලීබඩු කිපයත් පමනක් කෙමෙන් වියපත් වෙමින් ඔවුන් හා ඉතිරිවතිබුනි.

"අපි මේ ගේයි, ඉඩමයි විකුනමු. අනුරාධපුරේ පැත්තෙන් ඇතුල්ට වෙන්න ගන්න පුලුවං ලාබෙට ඉඩමක්. පුංචියට ගේ පැලක් අටෝගෙන හිමීට නැගිටින්න බලමු. මට පුලුවන් මිරිස් වවන්න, කුරක්කන් එක්ක. ඒක මේ හැටි අමාරු නෑ. අවුරුදු 2-3ක් දුක් වින්දට අපිට පුලුවංවෙයි ඔලුව උස්සගන්න. අපි මේව විකුනමු"

භද්‍රා යලිත් පියසේනගෙන් මේ ඉල්ලීම කලේ කීවෙනි වතාවටදැයි නිනවු නැත.එහෙත් ඔහු ඒ හැම වතාවකම යෝජනාව මඟහරින්නේ සිය ජීවිතයේ මුල් ගමන්කරඇති මේ පොළව හැරයාමේ නොකැමැත්ත හේතුවෙනි.

***************************

භද්‍රා නිවසින් පිටවු පසු පියසේන ගෙට ගොඩවන පඩියේ වාඩිවී සිටියදී දරුවා මිදුලේ යම් ක්‍රීඩාවක නිරතවෙමින් උන්නේය. එකවරම ඇසුන රතඤ්ඤා හඞකින් උදම් උන දරුවා අත්පොඩි තලා සිය ප්‍රීතිය ප්‍රකාශ කරද්දී, පියසේන ගේ හදවත යලිත් බරවන්නට විය.

පාසලේ අවශ්‍යතා වලට රුපියල් දහසක් භද්‍රාට හොයාගැන්මට බැරි නොවුනත්,අවුරුද්දට පොඩ්ඩාට අලුත් ඇඳුමක්, රතිඤ්ඤාවක්,  කැවුමක් නිසා ලැබිය යුතුවන සතුට මේ වතාවේත් අහිමි වනු ඇත. ඒ මුහුනේ ඇඳෙන බලාපොරොත්තු කඩවීමේ ලක්ශනයන්ගේ ඡායාවන් පියසේනගේ හදවත කොණිති ගසද්දී ඔහු ශෝකී මුහුන අහසට යොමුකලේය.

ඉස්කෝලෙ නෝනාගෙන් තවත් ඉල්ලන්නට භද්‍රාගේ පඩියේ ඉතිරියක් වේදැයි පවා විශ්වාශ නැත.පියසේන පිළිතුරක්අහසේන් සොයාගත්තා සේ ඔහු සැනින් නැගී සිටියේය.

"පුතේ පොඩ්ඩකට අතුලලෑ දිහාට යන්න. තාත්ත පැයෙන් එන්නම්"

මොහොතක් පියාගේ මූන හෝදිසි කල දරුවා,සැනෙන් සිය මිතුරා සොයා දිවයද්දී පියසේන පැකිලෙන පා  ගැහෙන හිතින් වරුකරගනිමින් තීරනාත්මක පියවරක් ඉදිරියට තැබීය.

****************************

ඒ රාත්‍රියේ ඔහු එතරම් අමුතු මන්දැයි ඇය තේරුම් ගත්තේ මහරෑ විත් නිවසේ දොරට තඩිබෑ පොලිසියේ ගෝරනාඩුව නිසාය.අන් මඟක් නැතැයි සිතා දරුවාට අවුරුදු ගෙනෙන්නට ඔහු නිවෙස් හතරකට එහාවූ රත්නසිරිගේ වතුර පොම්පය හොරකම් කර තිබුනි.කෑලි කපන අඳුර අතරේ ජීප් රථයට දමාගෙන ගිය සැමියා ගැන සිතා ඕ කඳුලු හෙලුවාය.ඒ කඳුලුවල දියවී ඇගේ ජීවිතය ද සේදී යමින් තිබුනි.

අසල බිම නිදා සිටිනා දරුවා ඔසවා ඇඳෙන් තැබූ ඈ පියසේනගේ දෑසේ තිබූ කථාව කියෙවුවා මෙන්  බරසුසුමක් හෙලුවාය. ඒ සුසුමින් ළය තවත් බරවූ තැන තවත් සුසුමක් හෙලුවාය.
 ජීවිතය විසිරීයන වලාකුලක්සේ ඉහිරෙන්නට දෙන්නට බැරිය. කැටිවළාවක්වී ගමනාන්තයට යායුතුය.

පසුදා පියසේන බැලීමට භද්‍රා පොලිසියට ගෑටුවාය.එක අතකින් දරුවා අල්ලාගෙන උන් ඕ සිරකූඩුවේ යකඩ පොල්ලක් අනිත් අතින් සිරකර ගත්තාය.

"මට සමාවෙයන්.., මම..."

පියසේනගේ හඞ ඇහෙද්දී භද්‍රාගේ නෙතින් සටසට ගා කඳුලු වැටෙන්නට විය.ඕ යකඩ කූර අතැර පියසේනගේ අත මිරිකා ගත්තාය.

කඳුලින් සේදියන දෑසින් දරුවාගේ අහිංසක දෑසත්,භද්‍රාගේ අසරණ දෑසත් දෙස බැලු ඔහු කටහඞ අවදි කලේය.

"අපි මේ ගේයි, ඉඩමයි විකුනමු"

බරැති සුසුම් දෙකක් එකම මොහොතක, භද්‍රාගේත් පියසේනගේත් මුවින් පිටවේද්දී, මිරිකුන අත් අතරට අලුත් කඳුලක් එකතුවිය.

2 comments:

  1. ඔය වගේ ජීවිත අපේ සමාජයේ කොයිතරම් නම් ඇද්ද? ඒ මිනිස්සුන්ට අපිට වගේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ. අද දවසෙ කොහොමද ජීවිතේ ගැට ගහගන්නෙ කියලයි බලන්නෙ. ඒ මිනිස්සු වෙනුවෙන් සුසුමක් හෙලෙනව ඇරෙන්න අපිටත් කරන්න පුලුවන් දෙයක් නෑ නෙ.

    ReplyDelete
  2. මේක සමහර විට ඔයාගෙ ප්‍රබන්ධයක් වෙන්න ඇති. ඒත් කියවන අයට ඒක දුරස් අත්දැකීමක් වෙන්නත් පුඵවන් හේතුව මේක ලියවෙන්නෙ සයිබර් අවකාශයේ නිසා.
    ඒත් අදටත් මේ මේ ව‍ගේ ජීවිතය ගෙවෙන අතිබහුතරයක් මේ පොළොවෙ ඉන්නව.ඒත් ඔවුන් ගැන අනෙකුන් ඒ විදියට දන්නෙ නෑ. ඒත් පුද්ගලිකව මම මේ තත්වයන් හඳුනනව.ඇති තරම් දැකල තියෙනව. ඒක නිසා කෙටිකතාවක් වුණත් එහි සාරය මා තුළ ඇති කරන සංවේදනාව ගොඩක් වෙනස්.

    ReplyDelete