Friday, July 1, 2011

කරදිය - I



කලක පටන් විටින් විට මා පෙලූ උදරය පුරා දිවුනු නොසන්සුන්කම එක්තරා දවසක උත්සන්න වූයෙන් මම වෛද්යවරයා මුනගැහෙන්නට ගියේ තනිවමය. ඒද අම්මාගේ පෙරැත්ත කිරීමටය.

වැඩිදුර ප්රතිකාර සඳහා යැයි කියා මහ රෝහලේ නවාතැන් ගැන්වූ දා පටන් හරි හැටි නින්දක් හෝ කෑමක් නැතිව විස්සෝප උන අම්මාට මම ලෙඩ ඇඳේ හිද දොස් පැවරුවේ නිකරුනේ කලබලවි ඇතැයි සිතූ නිසාවෙනි. වේදනාව වෙනසක් නොවුනද මට බයක් නොදැනුනේ ජීවිතය දෙස සැහැල්ලුවෙන් බලන්නට තිබූ මුහුකුරා නොගිය මනස නිසා වන්නට ඇත.

අවසානයේ ඔවුන්ට එය මුනගැසී තිබුනි!.

ඔවුන් මගේ 'මරනය' වෙනත් නමකින් හඳුනාගෙන තිබුනි!.

මහරගම පිලිකා රෝහලට මා මරු කර යවනා බව ඔවුන් මගේ මව, පියා, සහ සොයුරියට කියනු ලදුව මගේ දෙසවන වැටෙද්දී, කන්පෙති රත් කරමින්, හදවතට රුධිරය වේගයෙන් ගලන්නාක් වැනි හැඟීමක් සමඟ දෑස තෙත්කල කඳුලු මම තවම මැරෙන්නට සූදානම් නැතිවග මටම කියාදුන්නා වැනිය.

අම්මා, තාත්තා ගේ පුතා ලෙස මම අසරන වීමි. කඳුල දකිද්දී මම අසරන වනබව ඔවුන්ට තේරුම් කරන්නට මම උත්සහා නොගත්තේ, කඳුල නැතුව ඔවුන් පපුව පැලී මියැදෙන වග තේරුම් ගත් නිසාය. නංගීගේ ඉකිබිදුම හදවතේ ඉසවුවක් හාරමින් වේදනා දෙවද්දී මම ඉකිබිඳුම නෑසූ කන්ව ඉවසුවෙමි. මඟේ පුංචි සුරතලීය. නංඟී තනිමඟක පාසලට පය නඟනයුරු මනසේ ඇඳගන්නට උත්සහා කරමින් මම ජීවිතයේ අසරණ කමට ප්රාතිහාර්ය්යක් පතමින් උන්නෙමි.

"බලාපොරොත්තු නැතිකරගන්න එපා. අපි Treatments කරලා බලමුකෝ"

වෛද්යවරුන්ගේ වදන් වල ප්රානවාචී බව කෙසේ උවද, අපි මතින් හුස්ම ගන්නට උත්සහ කරමින් උන්නෙමු.

***************************
ඉර මල පරව යන්නට තනද්දී මම ජීවිතයේ වින්දනීය හෝරාවක් සොයා වෙරළ කරා පා නැඟුවෙමි. දින කීපයක සිට මම වෙරළත සිට ගෙවන මේ හෝරාවක පමන කාලයට ආදරය කරමින් උන්නෙමි.

දින කීපයක්!!

දින කීපයකට කලින් මම දැනගත්තේ මට තවත් ඉතිරි වී ඇත්තේ දින කීපයක් පමනක් බවය.  නමුත්, විදවනා තප්පර රෑනක් අතරේ බෙහෙත්, සාත්තු, ඇවිටිලි, ප්රාර්ථනා, මැසිවිලි එක්ක මා වට කරගන්නා කඳුලු අවසාන නූලකින් මවු ගසේ එල්ලී හිඳින්නට වීරිය දරන හැඟීම් පවා මඟෙන් ඈතට කර දවස් කීපය තවත් ඉක්මනින් ඉවරයක් වෙනවානම් කියා හිතන්නට මා හදවත ලෝබකරමින් සිටී.

ජීවිතය ගැන හෝ එහි අස්ථීරත්වය ගැන මැසිවිලි නඟනවාට වඩා මම ජීවිතයට වෛර කරමින් හිඳිමි.

මා කෙරෙහිම උපන් වෛරයත්, අසරන කමත් හමුවේ අම්මාගේ ගැහෙන හදවතට රිද්දූ දුකින් තවත් ඔත්පල වූ හිත වාරුකරගත් මම හෙමිහිට සේන්දු වී තිබුනේ මේ විසල් සාගරයේ අද්දරටය. මියඇදෙන හිරු හෙට යලිත් උපදිනු ඇත. රැසින් ලෝකයට ජීවිතය දෙමින් හිද යලි මියඇදෙනු ඇත.

මම!

මමත් මියැදී යලි ඉපදෙනු ඇති මුත් වෙද්දි මේ කිසිම දෙයක් මේ විදියට තියේවි කියා හිතන්නට බැරිය.

 පසුතැවීමත්, දුකත් මොහොතකට හෝ පිසදාන්නට මුහුදු හුළඟට  පුලුවනි. හුළඟට මුසුවී ඈත ක්ෂිතයේ දිස්වෙන නවුකාවල ඡායාවන් අතරේ අතරමං වීමට මම ආසා කරන්නට වීමි.

දින කීපයක්  තිස්සේ තවත් 'දින කීපයකට' මියෙන හිරුගේත්, මුහුදු හුලඟේත්, ඟැඹුරු දියඹේත්, කරදිය සුවඳේත් රිද්මයට ආදරෙන් එහි සැඟවී හුදකලා වීමට මම මෙහි ඒමට හුරු ඌයේ නිසා වන්නට ඇත.

ඈත සයුරේ ගුප්ත බව තුල මිදී ගල් වී හුන් මම තිගැස්සී පියවි සිහියට ආවේ සිනාහඞකිනි. මුහුදේ ඝෝශාව අතරින්  හඞ මට වෙන්ව ඇසුනේ වැඩිය කෑ ගසා නිසංසලත්වය හැඩිකර දමන්නට තරම් මිනිසුන් හෝ ළමයින් වෙද්දී වෙරළේ තවත් ඉතිරිව නොවු බැවිනි. හෙටක් ඇති ඔවුන් අදට සමුදීමට නිවෙස් වෙත යමින් සිටියදී, හෙටක් අවිනිෂ්චිත මම සයුරු තෙර අතරමං වී හිඳඇත.

මා සිනා හඞ දෙසට නෙත් යොමුකලේ යාන්ත්රිකවම වාගේය. කුඩා නිවසක අබලං වු කවුලුවකට එපිට උන්නාය. කොලුවෙක් කවුලුවට මෙපිටින් නාහෙට නාහන බල්ලෙකු සමඟ ඔට්ටු වෙමින් උන් අතර, දෙස බලා හිනැහුනාය. ඉන් කේන්ති ගත් කොලුවා ඈට වදනක්, දෙකක් දමා ගසා ඈත දිවයන බල්ලා පසුපස උණුසුම් වැල්ලේ පතුල් ගිල්ලවමින් දුවන්නට විය. කරදිය සුවද මුසු අලුපාටකින් වැසී යමින් තිබුන වැල්ලේ අද්දර වියපත් වෙමින් තිබූ නිවසේ වයස්ගත කවුලුවට එහා තනිවුවාය. ජනෙල් කවුලුවේ හිස හොවාගෙන ඈත ක්ෂිතිජයේ අතරමන් වෙද්දී මම නිවස වෙතට පා නැගුවෙමි................................>>

2 comments:

  1. අපූරුවට ලියවුණු කෙටිකතාවක්. විචාරකයෙක් නොවන නිසා ගුණදොස් කියන්නනම් දන්නෙ නෑ. ඒත් හිත් ගත්ත.

    ReplyDelete
  2. හ්ම්ම් දැන්ම මොකුත් නොකියා ඉන්නං...ඉස්සරහට හුගක් දේවල් කියන්ට වෙයි වගේ පේන හින්දා...

    ReplyDelete