මම මොහොතකට ගල් උනෙමි.... හදවතේ රිදෙන ඉසවුවකින් දරාගෙන උන් මහා බරක් හෙමිහිට නිදහස් වන සෙයක් දැනෙද්දී.... විස්තර කිරීමට නොහැකි ආකාරයක ‘සැහැල්ලුවක්’ මට දැනුනි.
මේ මනස කියවන අයේක් වෙතොත් ඒ මහා පවුකාර හැඟීමකැයි හිතනු ඇත..... නමුත් හැබෑවටම මම ඉන් සැහැල්ලුවක් අත් වින්දෙමි. හතර අත මුද්රා තැබූ අඳුරු කුටියක තනිව ඉකිබිඳ හඞද්දී, තවෙකෙකුගේ ඉකිබිඳුමක් සවන වැකෙද්දී දැනෙන සුරක්ෂිත හැඟීමට හෝ කතරක පිපාසාවෙන් වැල්ලේ එරී හිඳියදී තවෙකෙකුගේ පිපාසිත මුහුනක් මුන ගැසුනාම දැනෙන හැඟීමක් මෙන් මම ඉන් සැහැල්ලුවක් වින්දෙමි.
මම බිඳෙන හඞ අවදි කලෙමි....
“මමත්....”
"මට හිතුනා.."
"කොහොමද...?"
ඈ යලිත් හිනැහුනාය....
ජීවිතයේ අන්තිම අඩියේ හුස්ම ගනිමින් ඉන්නා අතරේ ඕ හිනැහුනාය.
ඒ සිනහවට මම ලෝබ වූයෙමි. හදවතේ පුරවාගෙන ඉන්නා ගිනි පුළිගු වලින් වරින් වර, ටිකෙන් ටික ජීවිතයේ සිදුරු විශාල කරමින් තිබියදී සිනහව මියෙන්නේ අන් සියල්ලටම කලින්ය.අකලට පිපුන කුසුමක් සේ ඒ හිනාවේ වටිනාකම ඉහල යන්නේ ඒ නිසාය.
"මට හිතුනා.... කොණ්ඩෙන්, මූනෙන්, ඔක්කෝටම වඩා සංසාරෙ ගැන වගේ වගක් නැතුව හැන්දෑවට මෙතනට වෙලා ඉන්න ඉඳිල්ලෙන්..."
"ඒ උනාට මට සැකේකුත් තිබ්බා.. මොකද, මට එහෙමයි කියල ඒ වගේ ඉන්න හැමෝමත් මං වගේ කියල හිතන්ඩත් බෑනෙ ඉස්තීරෙටම...."
"ඒත්.... ඔන්න දැං මේ ඩිංගකට කලිං.... මට එහෙම ලෙඩක් කියල කියද්දි ගිය හිනාවෙන්නම් මං හරියටම දැනගත්තා අපි දෙන්නම එකම තැනකින් නතරවෙන්ඩයි යන්නෙ කියල..."
මම මදකට සසල උනෙමි. ඈ මගේ මුහුනේ රේඛා වල වෙනස කියවා ඇත. එවන් අසරණ තත්වයක ඈ ඉන්නාවග වෙනකෙකු දැනගත්තේ නම් ඔවුන් බොහෝ දුක්වනු ඇත. වචන හරහා ඒ දුක දන්වනු ඇත.
නමුත්...මම,
ඒ වචන හරහා විඳි සැහැල්ලුව.....!!
එය ඈ කියවා ඇත.
වෙවුලන හදගැස්ම මා අසරන කරද්දී....මම කතාකරන්නට වචන ඇහිඳින්ට වීමි.
හ්ම්....
සුසුමක්...හදවතේ ඟැඹුරින් නිදහස ලබද්දී මම කතාකරන්නට වීමි.
"ඒක මහ පුදුම හැඟීමක්....මං දන්නෙනෑ.... ඒක නරක එකක් වෙන්ඩත් පුලුවන් දකින කෙනෙක්ට...."
"ඒත්.... මට ඕන උනා කියන්ඩ... කතාකරන්ඩ... කාටහරි..... තේරෙන කෙනෙක්ට, කියනදේ අහලා අඞන, දෙස් දෙන කෙනෙක්ට, දුක් උන, දහිරිය දෙන්ඩ කියලා දාහක් දේවල් කියන කෙනෙක්ට නෙවේ...."
" කියන්ඩ ලේසී... "
"දැනෙන දේ තේරුම් කරන්ඩ යන එක මහ බොරු වැඩක්. එයාලට ඕව තේරෙනවද?? තේරුනත් එයාල මක් කරන්ඩද..."
"මට දැනෙන මේ කරුමක්කාර වේදනාව, හැමෝගෙම අනුකම්පාව, බලන බැල්මක්.... ඒවත් ලොකු බරක්....වචන වලින් කියන්ඩ පුලුවන් නම් ඒවයෙ බර...."
"මට දැනුනේ ඒ සේරම කියල හිතේ බරින් නිදහස් උනා වගේ දෙයක්. සමහර වෙලාවට කියන්ඩ තේරෙන්නෙ නැති දෙයක්, වචන හොය හොය උන්න දෙයක් කියාගත්තාම දැනෙන හැඟීම.... ඒක හරිම සැහැල්ලුවක්..."
මම විරාමයක් ගනිද්දී ඈ යලිත් මදහාස පෑවාය.
"මං දන්නවා...."
ඈ කටහඞ අවදි කලාය.....
"මමත් කැමතී ඒකට..... ඒක කාටවත් තේරෙයිද මන්දා.... හරියට රහස් භාශාවක් වගේ... අපිට විතරක් දැනෙන, වචන නැති....."
ඈ මදෙස බලා හිනැහුනාය...
ඒ සිනහව සුලං පහර හා පෙරලි කරද්දී.....හදවතේ සැහැල්ලුවට අත්තටු ලැබුනෙන් මටත් ඈ හා එකතුවීමට හැකිවිය.
අවසාන එලිය බිඳිත්තත් මුහුදු ගැබ තුල හැංගෙද්දී ඈ හදිසියේ මදෙස බැලුවාය. මොහොතක් මදෙස හැඟීම් විරහිත දෙනෙතින් බලා උන් ඈ කටහඞ අවදිකලාය....
ස්වරයේ වෙනසක් හදවතේ ඟැඹුරින් වටහාගනිද්දී
"තව කොයිතරම් කාලෙකටද?" ඈ ඇසුවාය.
"තව ටික දවසක්.... සතියක්.... ඊට අඩුවෙන්ඩත් බැරි නෑ..."
"හ්ම්.... ඒක තමා ඇත්තටම කවුද දන්නෙ හෙට වෙන්ඩත් පුලුවන්..."
යලිත් ඒ හිනාව...
බලාපොරොත්තුවේ අන්තයේ හිඳ හදවතේ වේදනාව හංඟන්නට යත්න දරද්දී ඈ ඈත අහසේ කැඩී ගසාගෙන යන සරුංගල් තිතක් මට පෙන්වූවාය.
මේ ‘අගෝස්තු’ ව නොවුනත්, මුහුදු හුළඟට මුදාහැරි සරුංඟලයක නූල අතහැරී තිබුනි. සරුංගලය ඈත අහසේ නොපෙනී යද්දී මා ඇගෙන් සමුගතිමි.
“මම යන්නම්....”
“හොඳයි.... පරිස්සමින්.... කලුවර උනා වැඩී “
ඇය සමුදුන්නාය.
***************************
ජීවිතයෙන් මම බලාපොරොත්තු වූ දේ බොහෝය. ඒවා සමහරක් බිඳී යද්දී අලුත් බලාපොරොත්තුවක් ඒ අඩුව පුරවන්නට ඉපදුනේ නිතැතිනි. ජීවිතය නම් බලාපොරොත්තුව පණ ගසද්දී නම් මම හදවතින් අඩපන උනේ ජීවිතයේ රස විඳින්නට හදවත ලෝබ වූ නිසා වන්නට ඇත. මියෙන්නට තවත් ඉතිරියක් නොවු අඩපන හදවත වාරුකරන්නට හුස්ම බිංදුවක් එහා මෙහා සරද්දී, ඒ හුස්මට අත්වැල් අල්ලන්නට තවත් හිතක් මුණගැසීම අහඹුවක්මදැයි මම දන්නේ නැත.
හෙටක් අහිමි ලෝකයක අදත් අවිනිෂ්චිත යාමයක් උදාවූ කල මියෙන තුරු පනගැසීම විනා වෙන කලහැක්කක් නොතිබුනි. ඇය අබලං කවුලුවකට එපිට සිට මියඇදෙන හදවතට හදගැස්ම මතක්කර දෙන්නට පටන් ගනිමින් තිබුනි.
ගැහෙන හිතට ගැහෙන්නට ඇති අයිතිය ඇය හඳුනාගෙන ඉන්නට ඇත. බලාපොරොත්තු මිහිදන් කරන්නට මොහොතකට පෙර මුනගැසුන සගයා සමඟ මොහොතක් ජීවත් වීමට ලැබුන අයිතිය අප දෙදෙනාටම බඩගින්නෙන් පෙලෙන කුසට වතුර වීදුරුවක් ලැබුනා තරම් සැනසිල්ලක් විය.
"ඒක හරියට රහස් භාෂාවක් වගේ"
මම ඇගේ වදන් සිහිකලෙමි. කුඩා උන් එවන් ක්රීඩාවකින් ලබන සතුට ඔබට තේරේවී කියා මම සිතමි. ජීවිතේ අන්තිම තප්පරයේදී මුනගැසුන සමාන හදගැස්ම හමුවේ අපි ඒ සතුටට ඇලුම් කරමින් උන්නෙමු.
කරදිය....
කඨෝරය.... නමුත් එයට අප හැමදාම ඇලුම් කලෙමු.
***************************
ඈ මුන ගැසී හයවන දිනයේදී....මම යලිත් ඒ වෙරළතට ගියෙමි. මුහුදු සුලඟට සීරුවට වැනෙන සුදුපාට කොඩි දෙකක් නිවස අසල එල්ලී තිබුනි.
"හ්ම්......"
මම ඒ කුඩා කවුලුව අසල තිබූ පාලු දසුනට නෙත් යොමු කලෙමි. අබලං පුංචි කවුලුවේ තනියට උන්නේ පාට මැකුනු ජනෙල් තිරය පමනි.
ඉන් එහා වූ නිසල අඳුර තුල මම සැනසීම දුටුවෙමි.
නිමි
මරණය ළඟදී හුදකලාවෙන් මිදීම සැහල්ලුවක් ගෙන එනව ඇති. ගොඩක් දේවලදි එය අපිටම දැනෙන අවස්ථා තියෙනව. කකුලක් නැත්තෙකු කකුලක් නැති තවත් අයෙකු දකිද්දි සතුටට පත්වෙනව. සැහැල්ලුවක් ලබනව.ගොඩක් දේවලදි එහෙමයි මිනිස් ජීවිතයේ. ඉතින් මරණය ළඟදිත් හුදෙකලාවෙන් මිදීම සැහැල්ලුවක් විය හැක.
ReplyDeleteඔබේ රචනා සෛලිය රසවත්. තව ලියන්න. ඔබට ජය!