Monday, July 4, 2011

කරදිය - II



පසුදිනත් මා ගුප්ත සාගරයේ පහස පතා වෙරල වෙත ඇදුනේ නිරායාසයෙනි. නිරන්තර වේදනාවෙන් පෙලෙමින් උන් මා සයුර විසින් දුක හංඟා ගන්නා හෝරාවට හදවතින් බැඳෙමින් උන්නෙමි.

දෙඇස ඈත රැල්ලක් හා ඔට්ටු වෙද්දී, දැහැන බිඳිමින් මා ඉදිරියෙන් දිවගියේ පෙර දා බල්ලෙකු සමඟ සෙල්ලම් කරමින් උන් කුඩා කොලුවාය. යුවතිය මට සිහිඋනේ නිතැතිනි. මා ඇගේ නිවස දෙස බැලුවේ නිකමටය.

එතැනම, අබලං කවුලුවට  එහා වාඩි වී උන්නාය. මා වෙත හැරෙද්දී සැනෙන් ඉවත බලාගත් නමුත්, එතෙක් ඇය මා දෙස බලා උන්වග මට පැහැදිලිය. සියුම් මන්දස්මිතියක් මගේ උවනත ඇඳී ගියේ තාරුණ්යයේ හැඟීම් රේඛාවක් වේදනාව පරයා මනසට කතා කල නිසාවන්නට ඇත. මම නිරීක්ෂණය කෙලෙමි. තඹවන් සියුම් අක්ඹබරු කෙහෙරැලි, අතරින් පතර ඇවිස්සී තිබුනේ මුහුදු හුළඟට පරාද වූ නිසාය. කෙට්ටු මුහුනේ මට දිස්වු පැතිකඩ මලානික දුඹුරු පැහැයකින් පැහැගැන්වී තිබුන අතර,

"ලස්සනයි..."

මගේ හිත කීවත්, විඩාපත් අඳුරු මුහුනේ ලස්සනක් තිබුනාදැයි කියා මට තේරුනේ නැත. යලි මදෙස නෙත් කොනින් බලා සැනින් ඉවතට යලිත් හැරෙද්දී, පෙර කී මන්දස්මිතය මා වෙත යලිත් පාවී ආවේය.

ඉන් පසුව තවත් දින තුනක් මම මගේ සුපුරුදු සැඳෑ ගමන සිදු කලමුත්, මිය ඇදෙන පැතුම් අතරේ සියුම් මදනලක් වී මා හදේ  හමමින් සිටියාය. දැකීම මගේ ගමනේ මූලික අරමුණ බවට පරිවර්ථනය වෙමින් තිබුනි.

පළමු දිනයේ මා දෙස බලද්දී මම ඇයට සිනාවකින්  සංග්රහ කලෙමි. මට රැවුවාය. එය මා අමුතු හැඟීමක ගිල්වූ අතර, දවස පුරා මා දෙස බැලීමට උත්සහා කරන අතරම, අප දෙනෙතු මුන ගැසෙද්දී මගේ නෙත් මඟහරින්නට හෝ දරුණු රැවුමක් මට එල්ලකිරීමට වගබලාගත්තාය.

දෙවන දිනයේ මාහා සිනාසුනාය. මට මහත් සතුටක් ඇතිවූ අතර, ඇයගේ නිහඞ පැවැත්මේ මම ඇලෙමින් උන්නෙමි.

" එයා ලස්සනට ඉඳී...."

හේබාගිය විඩාපත් මුහුනේ සැඟවුන වෘතාන්තය දුප්පත්කමැයි සිතූ මම, මුහුනට පිරිපුන් පෙනුමක් මනසින් ආරූඨ කරමින් සිතූවෙමි.

මොහොතේ මම ඇයට කතා කලයුතු යැයි හැඟීමක් පිලිසිඳුනෙන් දෙගිඩියාවෙන් ඇදෙස යලි බලද්දී ඇගේ මව යැයි සිතිය හැකි අයෙක් වෙත විත් කුමක් හෝ කියද්දී ඈත වෙරළ දෙස බලාගෙන ඉකි බිඳින්නට වන්නීය. ඇගේ මව වෙතට විත් හිස ලයේ හොවාගනිද්දී ඇයව පසෙකට තල්ලකර දැමුවාය. ගැහැනිය ඉන් රිදුන හිත කදුලු කරමින් කවුලුව අසලින් නික්ම යද්දී, හිස් බැල්මක් මට තිලින කල කවුලු දොරවසා දැමුවාය!.

අහේතුකවම මා මනසට රිංගාගෙන මියැදෙමන් ඇති හදවතට සිඟිති වින්දනීය හැඟීමක් ගෙන ඇයට මම සමීප වෙමින් උන්නෙමි. එය කිනම් හැඟීමක්දැයි සොයන්නට මට උවමනාවක් හෝ කාලයක් නොතිබිනි.

නිහඞ යුවතී, ගුප්ත සයුර මෙන්ම මා බැඳ තබාගන්නට සමත් වී ඈත. අම්මලාගෙන් හුදකලාවු මා සිතුවිලි සයුරේ සරද්දී මට සිතන්නට මංපෙත් පෙන්වන්නියක වෙමින් තිබුනි. මට අවැසිව තිබූ 'මගේ නොවන' ආගන්තුකයෙක් හරහා සිතුවිලි වදන් කරන්නට මට අවස්ථාවක් ලැබී ඇතැයි මම සිතූවෙමි. 'මගේ අය' අසා හිත රිදවාගන්නා මගේ සිතුවිලි මගේ නොවන අයෙකුට බලපෑමක් නොකරනු ඇතැයි තනිව විඳවමින් උන් මට සිතුනේ ඇයිදැයි මා නොදනිමි.

'හෙට' හා කතාකරන්නෙමැයි සිතා ගත්තද තෙවැනි දිනයේ එතැන උන්නේ නැත.

අබලං කවුලුවේ එල්ලී උන් පාට මැකුන ජනෙල් තිරය පමනක්,මුහුදු හුළඟේ පහරින් බැටකමින් උන් අතර, මගේ හිත අසරණව වැල්ලේ ඉබාගාතේ සරන්නට විය. මම ආගන්තුකයයෙකුට හදවත විවෘත කිරීමේ දොලකින් අසීමිතව පෙලෙද්දි., නිරතුරුව හැරදැමූ කවුලුවෙන් එපිට රුව මතුවෙනු දැකීමේ පිපාසාවකින් පෙළෙන්නට වීමි. අඳුරු තිර හාත්පස වසාගනිද්දී බරවූ හදවතත් ඇතිව මා නිවසට පා ගෑටුවෙමි.

අලුත් හවසක්....

මට අලුත් දවසක් උවමනා නොවේ. උදාවෙන හැම දසකටම වෛර කරමින් උන් මට උදාවූ දවස අවසානයේ එලැඹෙන මේ සැන්දෑව අහන්නට ආසා ගීතයක් ඇහෙන මොහොතක් මෙන් සැනසිල්ල ගෙනාවේය.

අද ඈ එතැන උන්නාය. වෙනදාටත් වඩා අඳුරු පැහැගැන්වී තිබුන ඒ මුහුන තවත් මලානික වී තිබුනි. ඈ මා එනතුරු බලා උන්නා සේ මා දුටු විගස හිනැහුනාය. කාන්තිය මැකෙමින් තිබූ ඒ ඇස් හිනාවට සම්මාදම් වෙන්නට උත්සාහා කරනයුරු මා දුටුවෙමි. ඉන් දිරිය ලත් මා ඈවෙත පිය නැඟූවෙමි.

ඇගේ කවුලුවට මෙපිට වැල්ලේ ඒ අසලම බිම වැතිරී උන් පොල් ගසේකඳ මත ම වාඩි උනෙමි. මම මොහොතක් ඈ නිරීක්ෂනය කරන්නට නිහඩ නිමේෂයක් වැය කරද්දී ඈ සිනා මුසුව මදෙසම බලා උන්නාය.

ඒ දෑස ගිලී කහගැන්වී ඇත.... මුහුන උවමනාවටත් වඩා මලානිකය.

"ඔයා..?" මම මගේ හද කළබල කල පැනය ඈ වෙත එල්ල කරන්නට තනද්දී

"මම අසනීපෙන්.." ඈ කටහඞ අවදි කලාය...

" හ්ම්...."

"ඔයා අද කතාකරන්ඩ ආ එක හොදයි..., මං උන්නෙ මට ඔයා එක්ක කතා කරන්ඩ වෙන එකක් නෑ කියලා"

ඈ නැවතිල්ලේ කීවාය...

"මොකද්ද අසනීපේ..."

මම ඇගෙන් අසද්දී ඈ මොහොතක් ම දෙස බලා උන්නාය. මුදු සිනහවක් මුවග ඇදෙද්දී ඒ ගිලුනු නෙත් කෙවෙනි අග කදුලු කැට දෙකක් මෝදු විය.

"පිලිකාවක්..!!"

                                                                                                         .............................>>


1 comment:

  1. තුන් වැනි කොටසක් තියෙයි වගේ.

    ReplyDelete