Thursday, July 28, 2011

වස්සානය - රත්න ශ්‍රී විජේසිංහ

















වස්සානය - රත්න ශ්‍රී විජේසිංහ

ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර                                    

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස

8 comments:

  1. මේක අපේ සිංහල පොතේ තිබ්බ..

    ReplyDelete
  2. හ්ම්ම්... අපේ 11 වසර සිංහල පොතේ තිබ්බ කවි පන්තිය... මම ආසම ඕකෙ අන්තිම කවියට.. A/L කාලේ මෙගේ ආදර්ශපාඨය උනෙත් ඒක.. අදටත් කවි පන්තියම වගේ පාඩම්..ස්තූතී මතක් කර දුන්නාට...

    ReplyDelete
  3. කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස .....

    ReplyDelete
  4. ලස්සන කවි පන්තියක්.

    ReplyDelete
  5. හරබර කවි පෙළක් .........

    ReplyDelete
  6. අරැත් බර ගීතයක්

    ReplyDelete
  7. මේකෙ ගායනයක් හොයගන්න බැරිවෙයිද??

    ReplyDelete
  8. අපූරු ජීවන දර්ශනයක් සහිත කාලෝචිත නිර්මාණයක්. කවියට පවතින්නට පුලුවන්. ඒත් හැම කවියකට ම සර්වකාලීන ගුණයෙන් අමරණීය වෙන්න බෑ. බාධක ඉදිරියේ මිළින වන කැකුලු මල් අවබෝධයෙන් කියවා කටු අස්සේ වුව ද මලක් වන්නට පාරමිතාවක් විය හැකි කවි පෙළක්.

    ReplyDelete